ප්‍රදේශය

රජ්ගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ඓතිහාසික වැදගත්කම

රජ්ගම ප්‍රාදේශීය සභාවට අයත් ප්‍රධාන ග්‍රාමය වූ රජ්ගම විසූ බව පවසන දේවපතිරාජ නම් සෙනෙවියෙකු නිසාත් බූස්සේ තිබූ පැරණි තුරඟ තරඟ පිටිය නිසාත් මෙම ප්‍රදේශය ලෝ පතළ ය. තොටගමුව තෙල්වත්ත ප්‍රදේශය ෂඩ් භාෂා පරමේෂ්වර තොටගමුවේ ශ්‍රී රාහුල හිමිපාණන් නිසාත් සීනිගම ප්‍රදේශය සීනිගම දෙවොල් දේවාලය නිසාත් ප්‍රසිද්ධ වී ඇත. සීනිගම දෙවොල් දෙවියන් වාසය කරන ලද්දේ වේරගොඩ ප්‍රදේශයේ බවත් ඒ නිසා වේරගොඩ දෙවොල් දේවාලය ද හාස්කම් ඇති ස්ථානයක් ලෙස ප්‍රදේශවාසින් පළිගනිති. වර්තමානයේ සංචාරක ආකර්ෂණීය ස්ථානයක් ලෙස සීනිගම දෙවොල් දේවාලය වැදගත්කමක් උසුල යි

භූගෝලීය පිහිටීම

රජ්ගම ප්‍රාදේශීය සභා ප්‍රදේශය ගාල්ල දිස්ත්‍රික්කයේ වෙරළබඩ කලාපය කිලෝමීටර 16ක් ද අභ්‍යන්තර ප්‍රදේශයේ උතුරු කොටස කිලෝමීටර 02 ක් ද දකුණු කොටස කිලෝමීටර 05 ක් ද වශයෙන් විහිදී යයි.

උතුරු කොටස :-

උතුරු අක්ෂාංශ – 06˚- 8˚48 සිට 06˚- 13˚50

නැගෙනහිර දේශාංශ – 80˚- 8˚12 සිට 80˚- 5˚54

දකුණු කොටස :-

උතුරු අක්ෂාංශ – 06˚- 3˚58 සිට 06˚- 5˚58

නැගෙනහිර දේශාංශ – 80˚ -7˚54 සිට 80˚- 10˚18

 

බල ප්‍රදේශයේ උපරිම උෂ්ණත්වය මැයි මාසයේ පවතින අතර එය 28.4˚ක් ද අවම උෂ්ණත්වය නොවැම්බර් මාසයේ වන අතර එය 25.5˚ක් ද වේ. එ මෙන් ම සාමාන්‍ය වර්ෂාපතනය මි.මි. 430 ක් පමණ වේ. උතුරු දෙසින් බද්දේගම හා අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයෙන් ද, ගිනිකොණ දෙසින් ගාල්ල මහ නගරසභා බල ප්‍රදේශයෙන් ද,

බටහිර දෙසින් ඉන්දියන් සාගරයෙන් ද මායිම් වන මෙම බල ප්‍රදේශය වර්ග කිලෝමීටර් 49.32ක් පමණ වන අතර ග්‍රාම නිලධාරී වසම් 70කින් ද යුක්ත වේ. ගාලු පුරවරයට කිලෝ මීටර් 12ක දුර ප්‍රමාණයක් ඇති අතර අග නගරයට කිලෝ මීටර් 116ක දුරක් ඇත.

ප්‍රදේශයේ ආර්ථික, සාමාජයීය හා පාරිසරික වැදගත්කම

බල ප්‍රදේශයේ වෙරළබඩ කලාපය කිලෝ මීටර් 28ක් පමණ දිගින් යුතු වන අතර මෙම කලාපය ධීවර කර්මාන්තයටත් සංචාරක කර්මාන්තයටත් විශාල විභවයක් සහිත කලාප ලෙස සැලකිය හැකි ය. එමෙන්ම රජ්ගම, මාදම්පේ කලපු හා ගිං ගඟ ආශ්‍රිත ප්‍රදේශ කොහු කර්මාන්තයටත් ඌරවත්ත, මාදම්පේ, කහව, ගොඩගම හා තෙල්වත්ත යන ප්‍රදේශ හුණුගල් කර්මාන්තයටත් මහත් ප්‍රසිද්ධියක් උසුලයි. සුනාමි ව්‍යසනයත් සමඟ ජිවන කටයුතු වලට බාධා පැමිණි අතර ජනතාවගේ නිවාස අහිමි වීමෙන් පදිංචිය වෙනස් කිරිමට සිදු වීම එම ප්‍රදේශවල වටිනාකම අඩු වීමට හේතු විය. මේ වන විට ක්‍රමයෙන් සංවර්ධනය වන මාවතකට මෙම ප්‍රදේශ ගමන් කරමින් තිබේ. රජ්ගම, මාදම්පේ කලපු ආශ්‍රිත ප්‍රදේශ පරිසර සංවේදී ප්‍රදේශ ලෙස වැදගත් වන අතර වර්තමානයේ ලවණ සාන්ද්‍රණය අධික විමෙන් කඩොලාන හා ඒ ආශ්‍රිත ඉස්සන්, පොකිරිස්සන් වැනි සතුන් වඳ වී යාමේ තර්ජනයකට මුහුණපා ඇත. පොල්ගසදූව, පරප්පුදූව, දෙල්දූව දූපත, ගිංතොට, වැලිවිටිය, සීනිගම මුහුදේ පිහිටි දේවාලය, අකුරළ විපරිත හුණුගල් වැටිය ප්‍රදේශයට සමාජ ආර්ථික හා පාරිසරික වටිනාකමක් ද එකතු කරයි.

ජනගහන තොරතුරු

2015 වර්ෂයේ සංඛ්‍යා ලේඛන වලට අනුව බල ප්‍රදේශයේ ජනගහනය 84,014 ක් වන අතර එහි සත්‍රී ජනගහනය 42,979 ක් හා පුරුෂ ජනගහනය 39,611 ක් වෙයි. මෙහි දී ඉදිරි වර්ෂවල ළමා ජනගහන අවශ්‍යතා කෙරෙහි අවධානය යොමු කළ යුතු අතර බල ප්‍රදේශයේ සෞඛ්‍යය හා සනිපාරක්‍ෂක කටයුතු, වෙනත් පොදු පහසුකම් වර්ධනය කළ යුතු වේ. වැඩිහිටි ජනගහනය සඳහා ප්‍රජා මණ්ඩල හරහා හෝ කිසියම් සංවේදී හා යම් උපයෝජනයක් ගත හැකි කාර්යයන් සඳහා යොදා ගැනිමේ වැඩ පිළිවෙළක් දියත් කිරීම අවශ්‍ය වේ.

මෙම බල ප්‍රදේශයේ වැඩිම ජන ඝනත්වයක් දැක්වෙන්නේ ගම්මැද්ද ප්‍රදේශයේ වන අතර පිටිවැල්ල, දේවගොඩ, කන්දේගොඩ, රුපීවල වැඩි ජන ඝනත්වයක් පෙන්නුම් කරයි. අඩුම ජන ඝනත්වයක් දැක්වෙනුයේ රජ්ගම ග්‍රාමසේවා වසමේ වේ. තව ද ගල්දුව, තොටවිල, රෙජ්ජිපුර, මැදවල යන ප්‍රදේශ ජන ඝනත්වයෙන් අඩු ප්‍රදේශ වෙයි. භූමි පරිභෝජන රටාව ගත් විට රෙජ්ජිපුර, ගනේගොඩ, කපුමුලුගොඩ වැනි ප්‍රදේශවල විශාල ජනගහණයක් වාසය කරන අතර සුනාමි උවදුරෙන් පසුව අකුරළ, කහව, තෙල්වත්ත වැනි ප්‍රදේශවල ජනතාව වෙනත් ප්‍රදේශ වෙත පදිංචියට යෑම හේතුවෙන් අවශ්‍ය පොදු උපයෝගී සේවා එම ප්‍රදේශ වෙත ගලා යාම අවශ්‍ය වේ.

බල ප්‍රදේශයේ සේවා නියුක්තිය ඉහත පරිදි වර්ග කර දැක්විය හැකි ය. වර්තමානයේ සේවා වියුක්ති තරුණ ජනගහනය වැඩිවන බවක් පෙනේ. තව ද ජනගහනය බෞද්ධ, ක්‍රිස්තියානි, හින්දු, ඉස්ලාම්, බර්ගර් යනුවෙන් වර්ග කළ හැකි ය.

© 2023 Created by LankaBiz